ජෝන් අමරතුංග මහතා ජාතික සේවක සංගමයේ 13 වැනි සභාපතිවරයා ලෙස නිල වශයෙන් වැඩ භාර ගනී

Jss_news_chairman_6ජාතික සේවක සංගමයේ නව සභාපති ජෝන් අමරතුංග මහතා එම ධූරයේ වැඩ භාර ගැනීම නිමිත්තෙන් 2013-07-03 වැනි දින ශී‍්‍ර ජයවර්ධනපුර කෝට්ටේ ජාතික සේවක සංගම් මූලස්ථානයේ පැවැති උත්සවයේදී අදහස් දැක් වූ එක්සත් ජාතික පක්‍ෂ නායක සහ විපක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා.

විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක සහ ගම්පහ දිස්ති‍්‍රක් එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජෝන් අමරතුංග මහතා ජාතික සේවක සංගමයේ 13 වැනි සභාපතිවරයා ලෙස නිල වශයෙන් වැඩ භාර ගත්තා. 

එතුමාට පෙර ජාතික සේවක සංගමයේ සභාපති ධූරය දැරුවේ මානව හිමිකම් පිළිබඳව එක්සත් ජාතික පක්‍ෂ සහකාර ලේකම් දොස්තර ජයලත් ජයවර්ධන මහතායි. එතුමා ඉතාම කෙටි කාලයකින් නව වැඩසටහන් ගණනාවක් ආරම්භ කරමින් විශාල සේවාවක් කළ බව කිව යුතුයි. 

සුභ සාධන කටයුතු රැසක් ආරම්භ කළ දොස්තර ජයලත් ජයවර්ධන මහතා ජාත්‍යන්තර සම්බන්ධතා සහ ගනුදෙනු සිදු කරමින් මානව හිමිකම් තහවුරු කිරීම සඳහාද විශාල මෙහෙවරක් සිදු කළා. 

අති විශාල සේවයක් එක්සත් ජාතික පක්‍ෂයටත්, රටටත්, ජනතාවටත් කළ දොස්තර ජයලත් ජයවර්ධන මහතා කළ එකම වරද වූයේ ඔහු ගැන සැලකිලිමත් නොවීමයි. එම නිසා දොස්තර ජයලත් ජයවර්ධන මහතාගේ සේවය අපට අහිමි වුණා. 

දොස්තර ජයලත් ජයවර්ධන මහතාගේ අභාවයෙන් පසුව ජාතික සේවක සංගමයේ සභාපති ධූරයට පත් කළ යුත්තේ කවුරුන්ද යන්න පිළිබඳව එම සංගමයේ ප‍්‍රධාන ලේකම් සිරිනාල් ද මැල් මහතාගෙන් විමසා සිටි අවස්ථාවේදී ඔහු මට යෝජනා කරමින් ඉල්ලා සිටියේ එම තනතුරට ජෝන් අමරතුංග මහතා පත් කරන ලෙසයි. 

1977 ට පෙර එක්සත් ජාතික පක්‍ෂයට බැඳුණු ජෝන් අමරතුංග මහතා අප වගේම මේ පක්‍ෂයේ ඉතාම පැරැණි සාමාජිකයකුයි. ඒ කාලයේ අප අපේ දේශපාලන කටයුතු ආසන මට්ටමින් සේම වෘත්තීය සමිති මට්ටමින් ද සිදු කළා. ඒ වෘත්තීය සමිති අතර ප‍්‍රධාන ස්ථානයක් හිමි වූයේ ජාතික සේවක සංගමයට වන අතර, මම ද ජාතික සේවක සංගමයේ වරාය අංශයේ සේම තරුණ පෙරමුණේ ද කි‍්‍රයා කළා. 

ජාතික සේවක සංගමයේ වරාය අංශයෙන් ඉවත් වී ජාතික අධ්‍යාපන සේවක සංගමය ආරම්භ කිරීමට මා කි‍්‍රයා කරද්දී ටිරෝන් ප‍්‍රනාන්දු මැතිතුමා එම අංශය භාර ගෙන කි‍්‍රයා කළා මට මතකයි. සියලූ දෙනාටම වෘත්තීය සමිති පසුබිමක් අවශ්‍ය බව දිවංගත ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා අපට එදා සෑම විටම කියා සිටියා. ඒ අනුව ජෝන් අමරතුංග මහතා ද එම වකවානුවේදී එතුමාගේ ආසන රැක ගනිමින් නියෝජ්‍ය ඇමැතිවරයකු, ඇමැතිවරයකු සහ රාජ්‍ය ඇමැතිවරයකු ලෙස ජාතික සේවක සංගමය සමග සම්බන්ධ වී කි‍්‍රයා කර තිබෙනවා.

විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක වන ජෝන් අමරතුංග මහතාට ජාතික සේවක සංගමයේ සභාපතිවරයා ලෙස ද විශාල කාර්ය භාරයක් කිරීමට තිබෙන බව කිව යුතුයි. අභාවප‍්‍රාප්ත දොස්තර ජයලත් ජයවර්ධන මහතා දැරූ එක්සත් ජාතික පක්‍ෂයේ මානව හිමිකම් සහකාර ලේකම් ධූරය ජනාධිපති නීතීඥ ශී‍්‍රනාත් පෙරේරා මහතා වෙත අප පවරනු ලැබුවා. 

දේශපාලනයේ ඉදිරියට ගමන් කළ යුතු නම් ජාතික සේවක සංගමය සමග එක්ව එම වැඩ කටයුතු කරන්නැයි අපේ තරුණ දේශපාලනඥයින්ගෙන් මම මේ මොහොතේ ඉල්ලා සිටිනවා. එවිට ඉදිරියට යන්න විවිධ අවස්ථා හමු වන අතර, එම අවස්ථා අත නොහරින ලෙස තරුණ දේශපාලනඥයින්ගෙන් මම වැඩිදුරටත් ඉල්ලා සිටිනවා. 

සාමාන්‍ය ජනතාවගේ ප‍්‍රශ්න සහ අවශ්‍යතා පිළිබඳව නිවැරැුදිව කරුණු හඳුනා ගැනීමට හැකි වන්නේ වෘත්තීය සමිති සමග එකට එක් වී වැඩ කළ විටයි. එක්සත් ජාතික පක්‍ෂය නියෝජනය කරන ජනතාවගෙන් බහුතරය වන්නේ කම්කරු, ගොවි සහ ධීවර ඇතුළු වැඩ කරන ජනතාව බව කිව යුතුයි. 

ජෝන් අමරතුංග මහතා ජාතික සේවක සංගමයේ සභාපතිව ධූරයට පත් වූයේ සමස්ත කම්කරු ජනතාවට ඉතාම වැදගත් සහ තීරණාතම්ක කාලයක බව සිහිපත් කළ යුතුයි. ඔහු සභාපති ධූරයට පත් වූයේ වැටුප් වැඩි නොකර විදුලිය ගාස්තු අසීමිත සහ අසාධාරණ ලෙස වැඩි කිරීමට එරෙහිව අප රට පුරා සටන ආරම්භ කර තිබෙන තීරණාත්මක මොහොතකයි. 

කම්කරු නායකයකු ලෙස මහින්ද රාජපක්‍ෂව හඳුන්වා දුන් ඔහුගේ ඒකාධිපති රෙජිමය එදා තරයේ කියා සිටියේ, යුද්ධය අවසන් කළ වහාම සියලූ සේවක වැටුප් වැඩි කර ජනතාවට උපරිම සහන සලසා රට දියුණු කරන බවයි. 

පොරොන්දු වූ පරිදි වැටුප් වැඩි කළාද? ඒ කොපමණ මුදලකින්ද? පොරොන්දු වූ පරිදි වැටුප් වැඩි නොකළ නිසා ජීවන අංකය ගැසට් කරන්නැයි අප ඉල්ලා සිටියා. නමුත් ආණ්ඩුව වැටුප් වැඩි කිරීමවත්, ජීවන අංකය ගැසට් කිරීමවත් කරන්නේ නැහැ. මේ හේතුවෙන් බඩු මිල අඛණ්ඩව වැඩි වී ජනතාව මුහුණ දී සිටින ජීවන අර්බුදය තව තවත් උග‍්‍ර වුණා. 

ජනතාව උග‍්‍ර ජීවන අර්බුදයකට මැදිව අන්ත අසරණ වී සිටියදී ආණ්ඩුව කළේ විදුලිය ගාස්තු අසීමිත සහ අසාධාරණ ලෙස නීතියට විරුද්ධව වැඩි කිරීමයි. එසේ විදුලිය ගාස්තු වැඩි කළ ආණ්ඩුව විදුලිය පරිභෝජනයේදී පළමු ඒකක 60 ට එම විදුලිය ගාස්තු වැඩි කිරීම අදාළ වන්නේ නැතැයි ජනතාවට කියා සිටියා. විදුලිය ඒකක 60 ට සිය විදුලි පරිභෝජනය සීමා කිරීමට වැඩ කරන ජනතාවගෙන් කොපමණ පිරිසකට හැකි වී තිබෙනවාද?

විදුලි ගාස්තු අසීමිත සහ අසාධාරණ ලෙස වැඩි කළා නම් වැඩ කරන ජනතාවගේ වැටුප් වැඩි නොකරන්නේ ඇයි? කොටස් වෙළෙඳ පොළේ සියලූ දෙනාටම විශාල ලෙස බදු සහන ලබා දෙනවා නම් වැඩ කරන ජනතාවගේ වැටුප් වැඩි කිරීමට නොහැකි ඇය? මේ ඒකාධිපති රෙජිමය යටතේ සියයට එකකට බදු සහන.... සියයට අනූ නවයකට බදු අසහන... මහින්ද රාජපක්‍ෂ ඒකාධිපති රෙජිමයේ වැඩ පිළිවෙළ මේ අනුව පැහැදිලි වනවා. 

ලෝකයේ තෙල් මිල අඩු වී තිබියදී සහ රටේ ජලාශ ජලයෙන් පිරී ඉතිරී ගොස් තිබියදී විදුලිය ගාස්තු අසීමිත සහ අසාධාරණ ලෙස නීතියට විරුද්ධව වැඩි කරමින් ආණ්ඩුව තවත් ලෝක වාර්තාවක් තබා තිබෙනවා. 

විදුලිය ගාස්තු වැඩි කෙරුණේ ඒකාධිපති රෙජිමයේ දූෂණ, වංචා සහ අක‍්‍රමිකතා වෙනුවෙන් වක‍්‍රව ගෙවීමට ජනතාවට සිදුව ඇති නිසයි. හම්බන්තොට වරායක් තිබෙනවා. නමුත් නැව් නැහැ. පුත්තලම නොරොච්චේලේ විදුලි බලාගාරයක් ඉදි කළා. නමුත් විදුලිය නැහැ. මහ මාර්ග කොන්ක‍්‍රීට් කර මුදල් ගසා කෑවා. මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළක් තිබෙනවා. ඒ වුණාට ගුවන් යානා එන්නේ නැහැ. මේ සියලූ ව්‍යාපෘතිවලින් ආණ්ඩුව විශාල ලෙස කොමිස් මුදල් ගසා කෑ බව පැහැදිලිව කිව යුතුයි. 

ආණ්ඩුවට අනුව සංවර්ධන ව්‍යාපෘති යැයි කියන මේ ව්‍යාපෘති සඳහා ජාත්‍යන්තරයෙන් ගත් ණය ගෙවීමට නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍ය වෙනුවෙන් යොදවා තිබෙන ප‍්‍රතිපාදන ආණ්ඩුව කප්පාදු කරමින් සිටිනවා. 

නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍ය වෙනුවෙන් යොදවා තිබෙන ප‍්‍රතිපාදන කප්පාදු කළ ආණ්ඩුව මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ඉදි කළා පමණක් නොව, විශාල ලෙස පාඩු ලබා තිබෙන ශී‍්‍ර ලන්කන් එයාර් ගුවයන් සේවය වෙුනවෙන් රුපියල් කෝටි ගණන් මහජන මුදල් නාස්ති කරමින් ගුවන් යානා එන්ජින් 10 ක් ද මිලදී ගත්තා. 

ආණ්ඩුව විදුලිය ගාස්තු අසීමිත සහ අසාධාරණ ලෙස නීතියට විරුද්ධව වැඩි කළේ මේ ශී‍්‍ර ලන්කන් එයාර් ගුවන් සේවය වෙනුවෙන් මිලදී ගත් ගුවන් යානා සහ රෝල්ස් රොයිස් ගුවන් යානා එන්ජින් වෙනුවෙන් ගෙවීම සඳහායි. ඒ කියන්නේ විදුලිය ගාස්තුවලින් එම ගනුදෙනු සඳහා ගෙවීමට සිදුව තිබෙන්නේ රටේ ජනතාවටයි. 

මේ ආණ්ඩුව යටතේ රටේ විදුලි බල ව්‍යාපාරයට සිදුව තිබෙන්නේ කුමක්ද? එක්සත් ජාතික පක්‍ෂයට පින්සිදු වන්නට ලක්‍ෂපාණ, කාසල්රී, මහවැලි, සපුගස්කන්ද සහ කැලණිතිස්ස ව්‍යාපාර තවමත් ඉතාම සාර්ථකව කි‍්‍රයාත්මක වන නිසා අපට විදුලිය ලැබෙනවා. 

කුකුලේ ගඟ ජල විදුලි ව්‍යාපෘතියට සිදුව තිබෙන්නේ කුමක්ද? එම බලාගාරය සම්පූර්ණයෙන්ම ගලවා තිබෙනවා. විදුලි බලය නැහැ. ජලය ගලා යනවා. ජලයට උඩින් කුකුලන් පැන පැන යනවා. වික්ටෝරියා ජල විදුලි බලාගාරයේ ටර්බයිනර් මේ වන විට ගැලවීම ආරම්භ කරලා. වතුර තිබෙනවා. විදුලි බලය නම් නැහැ. නමුත් ජනතාව ඒ වෙනුවෙන් ගෙවනවා.

අලූත් වැඩියාවක් කරනවා නම් ඒ අලූත් වැඩියාව සැලැස්මකට අනුව කළ යුතු අතර, එක ටර්බයිනයක් එක මොහොතක අකී‍්‍රය කරනවා නම් අනෙකුත් ටර්බයිනර් කි‍්‍රයාත්මක කළ යුතුයි. එසේ නොකොට සියලූ ටර්බයිනර් එකම මොහොතක අකී‍්‍රය කරන්නේ ඇයි? මේ අය මේ වැඬේ කළේ උවමනාවෙන්මයි. ආණ්ඩුවට අවශ්‍ය වූයේ කුකුලේ ගඟ සහ වික්ටෝරියා ජල විදුලි බලාගාර වසා පුත්තලම නොරොච්චෝල විදුලි බලාගාරයෙන් සල්ලි හම්බ කිරීමටයි. නමුත් අවසානයේදී සිදු වූයේ එම විදුලි බලාගාරය ද අකී‍්‍රය වීමයි. 

එම විදුලි බලාගාරයේ විදුලිය විකුණා මේ ණය ගෙවීමේ ක‍්‍රමය සම්පූර්ණයෙන්ම අසාර්ථක වී තිබෙන නිසා ඒ සියලූ ණය ගෙවීමට සිදුව තිබෙන්නේ වැඩි කළ විදුලිය ගාස්තු මගින් අපේ අහිංසක සහ අන්ත අසරණ ජනතාවටයි. 

වැසි කාලයේදී විදුලි බලාගාර ගලවා අලූත් වැඩියා කරන්නේ කවුරුන්ද? එවැනි සිරිතක් තිබෙනවාද? කළු ගඟ කියන්නේ අපේ රටේ වේගයෙන්ම ගලන ගඟයි. එසේ තිබියදී මහවැලි සහ කුකුලේ ගඟ යන විදුලි බලාගාර දෙකම ගැල වූයේ ඇයි?

ආණ්ඩුවේ දූෂණයට ජනතාවට ගෙවීමට සිදු වෙලා. මේ දූෂණයට හේතුව කුමක්ද? අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවක් තිබුණාට ඒ අය අල්ලස් ගන්නා අය අල්ලා ගන්නේ නැහැ. නීතිය කඩා වැටිලා. ස්වාධීන අධිකරණයක් ඇත්තේ නැහැ. රාජ්‍ය සේවයට ස්වාධීනත්වයක් නැහැ. එම නිසා කිසිදු බියකින් තොරව  ඕනෑම අයෙකුට සොරකම් කළ හැකියි. පොලීසිය ස්වාධිනව කි‍්‍රයා කරන්නේ නැහැ. 

දූෂණය මර්දනය කිරීම සඳහා ස්වාධීන කොමිෂන් නොමැති නිසා  ඕනෑම අයෙකුට  ඕනෑ තරම් හොරකම් කිරීමට හැකි වී තිබෙනවා. මේ දූෂණ, වංචා සහ අක‍්‍රමිකතා ගැන අධිකරණය ඒ පසු පස ලූහු බැඳ සොයනවාද? ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය දූෂණය පසු පස ලූහු බැඳ සොයන අතර, සී.අයි.බී. ආයතනයට දේශපාලන ඇඟිලි ගැසීම් තිබෙන බවට තරයේ කියා තිබෙනවා. අපේ රටේ අධිකරණයකින් එවැනි තීන්දුවක් ගත හැකිද? අධිකරණය ස්වාධීන නැහැ. මේ සියල්ල විනාශ කළේ ඒකාධිපති රාජපක්‍ෂ රෙජිමයයි. 

17 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ ස්වාධීන කොමිෂන් සභා මගින් අප එදා මේ සියල්ල ආරක්‍ෂා කර තහවුරු කළා. ස්වාධීන පොලිස් කොමිෂම මගින් පොලිසියද ස්වාධීන රාජ්‍ය සේවා කොමිෂම මගින් රාජ්‍ය සේවයද ස්වාධීන අධිකරණ සේවා කොමිෂම මගින් අධිකරණය ද ස්වාධීනත්වය අප තහවුරු කළා. 

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්‍ෂා කිරීම ශ්‍රේෂ්ඨාධිකරණයට විනිසුරුවරුන් පත් කිරීම සහ අධිකරණ සේවා කොමිෂම පත් කිරීම ව්‍යවස්ථාදායක සභාවට පැවැරූ අප ස්වාධීන මැතිවරණ සේවා කොමිෂමක් සහ ස්වාධීන අල්ලස් හෝ දූෂණ කොමිෂමක් පත් කිරීමේ වගකීම ද ඊට ලබා දුන්නා. 

වර්තමානයේදී මේ ආණ්ඩුව ඒ සියල්ල විනාශ කර තිබෙන අතර, රටේ සියලූ අංශ දේශපාලනයට යටත් කර තිබෙනවා. සියලූ අංශ දේශපාලනයට යටත් කර තිබෙන නිසා දූෂණය උඩු දුවා තිබෙන අතර, තවත් පරම්පරා ගණනාවකටත් ගෙවා නිම කළ නොහැකි තරමේ විදේශ ණය කන්දරාවක් මේ ආණ්ඩුව ගෙන තිබෙනවා. 

ජල විදුලි බලාගාර වසා මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ, ශී‍්‍ර ලන්කන් එයාර් ගුවන් සමාගම වෙනුවෙන් මිලදී ගත් ගුවන් යානා සහ රෝල්ස් රොයිස් ගුවන් යානා එන්ජින් ආදිය වෙනුවෙන් ගෙවීම සඳහා විදුලිය ගාස්තු වැඩි කළා. 

ඊට එරෙහිව රට පුරා සටන් කරන අප ආණ්ඩුවට බල කර සිටින්නේ 17 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය යළි කි‍්‍රයාත්මක කර ස්වාධීන කොමිෂන් සභා සකී‍්‍රය කරන අතර, ජීවන අංකය ගැසට් කරමින් සියලූ සේවක වැටුප් වැඩි කළ යුතු බවයි. 

ජාතික සේවක සංගමය සියලූ වෘත්තීය සමිති සමග එකට එක්ව මේ සටන රට පුරා ගෙන යා යුතු අතර, ආණ්ඩුව මේ ඉල්ලීම් ලබා නොදෙන්නේ නම් අප කළ යුත්තේ වහාම ආණ්ඩු මාරු කරන ජාතික මැතිවරණයක් ලබා ගැනීමයි. 

ඒකාධිපති රෙජිමයේ දූෂණ වෙනුවෙන් ගෙවීමට එක්සත් ජාතික පක්‍ෂය සූදානම් නොමැති අතර, ඉදිරියේදී ගොඩනඟන එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුව රටේ අනාගත පරපුරට මේ ඒකාධිපති රෙජිමයේ දූෂණයේ බර පැටවීමට සූදානම් නැහැ. 

එහිදී අදහස් දැක් වූ ජාතික සේවක සංගමයේ නව සභාපති සහ ගම්පහ දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර ජෝන් අමරතුංග මහතා. 

එක්සත් ජාතික පක්‍ෂයට 1977 දී 5/6 ක බලයක් ලබා ගැනීමට ජාතික සේවක සංගමය ප‍්‍රබල දායකත්වයක් ලබා දුන්නා. ජාතික සේවක සංගමයේ සාමාජිකයින් හතළිස් දහසක ප‍්‍රමාණය තවත් වැඩි කර ගැනීමේ අභියෝගයක් තිබෙනවා. නව සාමාජිකයින් බඳවා ගැනීමට සියලූ දෙනාගේ සහාය අවශ්‍යයි. 

ආණ්ඩුවක් හැදීමට අපේ එකමුතුකම ප‍්‍රදර්ශනය කළ යුතුයි. එසේ නොකොට නායකත්වය, පක්‍ෂය විවේචනය කරමින් ආණ්ඩුවක් හදන්න බැහැ. අපි එකමුතු වුණොත් ජයග‍්‍රහණය අත ළඟයි. 

ජාතික සේවක සංගමය රාජය අශයෙන් මෙන්ම, පෞද්ගලික අංශයෙන්ද සාමාජිකයින් බඳවා ගැනීම සිදු කළ යුතුයි. ඒ සඳහා අපි ඉදිරියේදී වැඩපිළිවෙළක් සකස් කරනවා. ජාතික සේවක සංගමයේ හිටපු සභාපති වෛද්‍ය ජයලත් ජයවර්ධන මැතිතුමා අති විශාල කාර්ය භාරයක් සිදු කළ බවද පැවසීය. 

එහිදී අදහස් දැක් වූ ජාතික සේවක සංගමයේ ප‍්‍රධාන ලේකම් සිරිනාල් ද මෙල් මහතා.

වසර තිහක් තිස්සේ ජාතික සේවක සංගමයේ ලේකම් ලෙස මා කටයුතු කරනවා. එක් අතකින් එය ආශ්චර්යයක් වෙනවා. අපි පක්‍ෂයේ ජයග‍්‍රහණය වෙනුවෙන් 1977 දී විශාල මෙහෙවරක් ජාතික සේවක සංගමය ලෙස සිදු කළා. 

මේ අවස්ථාවට එක්සත් ජාතික පක්‍ෂයේ මහලේකම් තිස්ස අත්තනායක, උප නායක ජෝශප් මයිකල් පෙරේරා, පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් වන අකිල විරාජි කාරියවසම්, එරාන් වික‍්‍රමරත්න, ආචාර්ය හර්ෂ ද සිල්වා, හරීන් ප‍්‍රනාන්දු, අනෝමා ගමගේ, ලංකා ජාති වතුකම්කරු සංගමයේ සභාපති කේ. වේලායුදන් යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.