'ආණ්‌ඩුවේ වරප්‍රසාද වෙනුවෙන් ගියා' - ජාතික සේවක සංගමය

sunil silvaදයාසිරි ජයසේකර මහතා එක්‌සත් ජාතික පක්‍ෂය හැර ගියේ ආණ්‌ඩුවේ විවිධ වරප්‍රසාද වෙනුවෙන් යෑයි ජාතික සේවක සංගමය කියා සිටී. එහි මාධ්‍ය ලේකම් සුනිල් ද සිල්වා මහතා විසින් නිකුත් කළ නිවේදනයකින් මේ බව කියා සිටින අතර එහි මෙසේද සඳහන් වේ.දයාසිරි ජයසේකර මන්ත්‍රීතුමා එක්‌සත් ජාතික පක්‍ෂයෙන් ඉවත්ව සන්ධානයට එක්‌ව පළාත් සභාවට තරග කිරීම ජාතික සේවක සංගමය හෙළා දකී.

දයාසිරි මන්ත්‍රීවරයා ජාතික සේවක සංගමයේ සභාපති තනතුර ඉල්ලා සිටියත් පක්‍ෂයේ ඔහුට වඩා ජ්‍යෙෂ්ඨයෝ සිටිති.

ජෝන් අමරතුංග මන්ත්‍රීවරයා සංගමයේ සභාපති වශයෙන් පත්කළේ පක්‍ෂය හැර නොයන නිසාත්, ඔහු ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයකු වන නිසාත්ය. දයාසිරි පක්‍ෂය හැර ගියේ රජයේ විවිධ වරදාන වරප්‍රසාද මුදල් හා තනතුරු අපේක්‍ෂාවෙන් බව ජනතාවට පැහැදිලියි. ඔහු පක්‍ෂය හැර නොයන බව විවිධ අවස්‌ථාවල ප්‍රකාශ කළා. ඒ අතර ඉතිහාසය පුරාම ඔහුට දේශපාලන දැක්‌මක්‌ නොතිබුණු බවද පවසමු. අද එක්‌සත් ජාතික පක්‍ෂය වටා රජයට විරුද්ධව විශාල බලවේගයක්‌ එකතුවන යුගයේ දයාසිරි පක්‍ෂය හැරගියාට දයාසිරි සමඟ සාමාජිකයන් හැර නොයන බවත් මෙවර පළාත් සභා මැතිවරණයෙන් එක්‌සත් ජාතික පක්‍ෂය ජයගෙන දයාසිරි වැනි අයට පාඩමක්‌ ඉගැන්වීම පාක්‍ෂිකයන්ගේ මෙහෙවර බව ප්‍රකාශ කර සිටිමු.