දොස්‌තර ජයලත් ජයවර්ධන කළ මෙහෙවර පක්‍ෂ ඉතිහාසය තුළ සදානුස්‌මරණීයයි!

jayalath_jayawrdanaඅවසන් කටයුතු වැලිගම්පිටිය ශාන්ත ආනා දෙව් මැදුරේ වතාවත් වලින් පසුව ඉරිදා (2)  මිහිදන් කිරීමට නියමිතය. එක්‌සත් ජාතික පක්‍ෂ ගම්පහ දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු මෙන්ම හිටපු ඇමැතිවරයකු, එජාප නියෝජ්‍යමහ ලේකම්වරයා ද වූ දොස්‌තර ජයලත් ජයවර්ධන මහතා ඊයේ (30 දා) අලුයම අභාවප්‍රාප්ත විය.

සිංගප්පූරුවේ රෝහලක ශල්‍ය කර්මයකට භාජන වීම සඳහා ගොස්‌ සිටියදී හෘදයාබාධයකින් ඒ මහතා මියගොස්‌ තිබේ.

මියයන විට 59 වැනි වියෙහි පසුවූ ජයවර්ධන මහතා රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනාධිපති හා අගමැති පදවි හොබවන සමයේ එජාපයෙන් ක්‍රියාකාරී දේශපාලනයට ප්‍රවිශ්ඨ විය. පළමුව ජාතික ලැයිස්‌තුවෙන් මන්ත්‍රීවරයකු ලෙස පත්වූ ජයවර්ධන මහතා ඉන් අනතුරුව ගම්පහ දිස්‌ත්‍රික්‌කයෙන් නොකඩවා ජනතා ඡන්දයෙන් තේරී පත්වූ මන්ත්‍රීවරයකු විය. ක¹න ඩි. මැසනඩ් විදුහලේ සහ කොළඹ ඇක්‌වයිනාස්‌ විදුහලේ අධ්‍යාපනය ලැබූ ජයවර්ධන මහතා බටහිර වෛද්‍යවරයකු ලෙස තම වෘත්තිය ආරම්භ කළ අතර, ඔහු ඉතා දක්‍ෂ වෛද්‍යවරයකු ලෙස ද ප්‍රසාදයට පාත්‍ර වූවෙකි. ත්‍රස්‌තවාදී කලබල සමයේ දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ භික්‍ෂූන් වහන්සේලාට දාන මාන සපුරාලීමට හා එම විහාරස්‌ථානයේ ආරක්‍ෂාවට ඉමහත් සේ කැපවූ හෙතෙම ශ්‍රී දළ¹ මාළිගාවට, ශ්‍රී මහබෝධිය හා උතුරු නැගෙනහිර ගම්මාන 108 ක යුද්ධයෙන් අසරණව සිටි ජනතාවට අනතුරු ඇඟවීමේ සයිරන් නලා ලබා දෙමින් මායිම් ගම්මාන ආරක්‍ෂා කරලීමට එදා කළ මෙහෙවර ඉමහත්ය.

ඉන්දියාවේ රාමචන්ද්‍ර වෛද්‍ය විද්‍යාලයේ හා පශ්චාත් වෛද්‍ය උපාධි ආයතනයේද, දකුණු අප්‍රිකාවේ එසන්ඩ්ලේ වෛද්‍ය පීඨයේ ද උපදේශක වෛද්‍යවරයකු ලෙස ද ඔහු කටයුතු කර ඇත.

එතෙර වෛද්‍ය විද්‍යාල ගණනක ශ්‍රී ලංකාවේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අධ්‍යාපනය ලබාදීමට මුල් වී ක්‍රියාකළ අයකු ද වූ ජයවර්ධන මහතා ඔහුගේ ඇරයුමෙන් එතෙර වෛද්‍ය පීඨ පීඨාධිපතිවරුද මෙරට පැමිණ වෛද්‍ය අධ්‍යාපනය නංවාලීමේ අධ්‍යාපනික වැඩසටහන් ද දියත් කර තිබේ. දේශීය හා විදේශීය වෛද්‍ය උපාධි රාශියක්‌ ලබා ඇති ඔහුට ලෝක සෞඛ්‍ය සංවිධානයට සම්බන්ධ ජාත්‍යන්තර වෛද්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සන්ධානයේ සාමාජිකත්වය ද 1997 පිරිනැමිනි. මෙතෙක්‌ ශ්‍රී ලංකාවේ රූපවාහිනි නාලිකාවක වසර ගණනාවක්‌ නොකඩවා වෛද්‍ය වැඩසටහනක්‌ (ටිඑන්එල් රූපවාහිනියෙන්) මෙහෙයවීම නිසා ද සුවිශේෂ වාර්තාවක්‌ තබා ගෞරව සම්මානයට ද පාත්‍ර විය.

වෛද්‍ය ක්‍ෂේත්‍රය වෙනුවෙන් කරන ලද සේවාවට රුසියාවේ මොස්‌කව් විශ්වවිද්‍යාලයේ සනාතන සභාව මගින් මහාචාර්ය තනතුරක්‌ ද ඔහුට පිරිනැමිනි.

ජාත්‍යන්තර සිංහ සමාජය සමාජ සේවය වෙනුවෙන් වාර්ෂිකව පිරිනමන වඩාත් කැපී පෙනෙන පුරවැසි සම්මානය 1999 වර්ෂය සඳහා පිරිනැමුනේ පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්‌තර ජයලත් ජයවර්ධන මහතාටය.

ශ්‍රී ලංකාවේ ළමා අයිතිවාසිකම් සුරැකීමේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංගමයේ මුල්ම සභාපති ධුරය දැරූ ජයවර්ධන මහතාට 1999 වසරේ කැපී පෙනෙන පුරවැසි සම්මානය හිමි වී ඇත්තේ විශේෂයෙන් උතුරු නැගෙනහිර ජනතාව වෙනුවෙන් වෛද්‍ය කඳවුරු ආදී දේ මගින් කරන ලද විශිෂ්ට සේවාව අගය කිරීමටය.

කිතුනු දේවස්‌ථාන - පන්සල අතර සබැඳියාව ශක්‌තිමත් කරමින් සර්ව ආගමික පූජ්‍ය පක්‍ෂයේ ද සියලු ජන කොටස්‌වල ද ප්‍රසාදයට පාත්‍ර වූ ජයවර්ධන මහතා දෙදරු පියෙකි.

ඔහු මියයන විට මීගමුව එජාප ප්‍රධාන සංවිධායක ධුරය ද හෙබවීය. ප්‍රජාතන්ත්‍රවාදය හා මානව හිමිකම් රැක ගැනීමේ ක්‍ෂේත්‍රවල ද ඔහු සුවිශේෂ කාර්ය භාරයක්‌ ඉටු කර තිබේ.

එක්‌සත් ජාතික පක්‍ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් තම ජීවිතය කැප කරමින් ජයලත් ජයවර්ධන මහතා කළ මෙහෙවර පක්‍ෂ ඉතිහාසය තුළ සදානුස්‌මරණීය වන බවත්, ඔහුගේ අභාවයෙන් පක්‍ෂයට හා ජනතාවට ආදරය කළ දේශපාලන නායකයකු අපට සදහටම අහිමි වී ගිය බවත් එජාප නායක, විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ජයවර්ධන මහතාගේ අභාවය අසා දැඩි ශෝකයෙන් යුතුව පැවසීය.

ජයවර්ධන මහතා මාධ්‍යවේදීන් අතර ද හිත හොඳ මිනිසකු ලෙස මිත්‍රත්වයක්‌ ගොඩනඟාගෙන ජීවත් වූ දේශපාලනඥයෙකි. ඒ මහතාගේ දේහය ඊයේ ශ්‍රී ලංකාවට රැගෙන ඒමට නියමිතව තිබූ අතර, අනතුරුව රාත්‍රි ජාඇල, වැලිගම්පිටිය වෑවල පල්ලිය පාරේ පිහිටි ඒ මහතාගේ මහ ගෙදරට රැගෙන යැමට නියමිතව තිබිණි.

 

අවසන් කටයුතු වැලිගම්පිටිය ශාන්ත ආනා දෙව් මැදුරේ වතාවත් වලින් පසුව ඉරිදා (2)  මිහිදන් කිරීමට නියමිතය.