සේවක අර්ථසාධක අරමුදල (ඊ.පී.එෆ්.) මංකොල්ල කෑමට ආණ්ඩුව ක්‍රියාකර නැත්නම් වහාම ක්‍රියාත්මක වන පරිදි එම අරමුදල පිළිබඳ විමර්ශනයක් සිදු කිරීමට පාර්ලිමේන්තුවේ පොදු ගිණුම්කාරක සභාවට අවස්ථාව දිය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම් ජාතික සේවක සංගමයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ජයලත් ජයවර්ධන මහතා පැවසීය.
පාර්ලිමේන්තුවේ පොදු ගිණුම්කාරක සභාව හමුවට අර්ථසාධක අරමුදලේ නිලධාරීන් කැඳවා විමර්ශනයක් සිදු කිරීමට පුරා වසර හයක් (6 ක්) ආණ්ඩුවට අවස්ථාව දී නැහැ යෑයි ද හෙතෙම කීය.
විපක්ෂ නායක කාර්යාලයේදී ඊයේ (01 දා) පැවැති පුවත්පත් සාකච්ඡාවකදී මෙම අදහස් දැක්වූ ජයලත් ජයවර්ධන මහතා සේවක අර්ථසාධක අරමුදලේ මේ වනවිට රුපියල් ටි්රලියනයක් පමණ තිබෙන බවත් ඒ මුදල් වැඩ කරන ජනතාවගේ මුදල් බැවින් ඒවා ආණ්ඩුවට හෝ ජනාධිපතිවරයාට අවශ්‍ය ආකාරයට ආයෝජනය කිරීමට හෝ පරිහරණය කිරීමට අයිතියක් නැති බවත් සඳහන් කළේය.
සේවක අර්ථසාධක අරමුදලේ සිදුව ඇතැයි කියන දූෂණ හා වංචා පිළිබඳව විමර්ශනය කිරීම සඳහා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමක් පත් කර තිබෙන බව පැවසූ ජයලත් ජයවර්ධන මහතා මේ වනවිටත් එහි විමර්ශන කටයුතු ආරම්භ කර තිබෙන බවද අනාවරණය කළේය.
ඒ අනුව අර්ථසාධක අරමුදලේ මුදල්වලට සැබෑවට ම සිදුවී ඇත්තේ කුමක් ද යන්න ඉදිරියේදී හෙළිකරන බව ඒ මහතා වැඩිදුරටත් කීය.
ජාතික සේවක සංගමයේ ලංකා විදුලිබල මණ්ඩල ශාඛාවේ සභාපති ජී. වීරසේන හා ජාතික සේවක සංගමයේ ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල ශාඛාවේ සභාපති නිහාල් ලියනාරච්චි යන මහත්වරු ද මෙහිදී අදහස් දැක්වූහ.