මානව හිතවාදී අමරණීය චරිතයක් වූ දොස්තර ජයලත් ජයවර්ධන

Jayalath-News-Pictureජාඇල වැලිගම්පිටියේ ජයලත් සමූහ ව්‍යාපාර නිර්මාතෘ බැසිල් ජයවර්ධන මහතාගේ (නැසීගිය) සහ ඩේසි වයලට් ජයවර්ධන මහත්මියගේ වැඩිමහල් පුත්‍රයා ලෙස 1953.08.16 වැනි දින මෙලොව එළිය දුටුවේය.

1972 වර්ෂයේදී තම පියාගේ හදිසි වියෝවීම නිසා වැඩිමහල් පුත්‍රයා ලෙස පවු‍ලේ වගකීම් රැසක් එතුමා අතට පැවරිණි. එනමුත් තම පියාගේ එකම අභිප්‍රාය වූ උසස් අධ්‍යාපනය ලබා ගැනීම සඳහා තම කාලය අර්ථවත් ලෙස යොදා ගනිමින් වෛද්‍යවරයකු වීමේ වාසනාව එතුමා උදාකර ගත්තේය. තවද තම සහෝදර සහෝදරියන්ටද විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබා ගැනීම සඳහා තම මව සමග එක්ව කටයුතු කළේය.

දොස්තර ජයලත් ජයවර්ධන මැතිතුමා වෛද්‍ය ශිෂ්‍යයකු ලෙස රතුකුරුස සංගමය, සෞඛ්‍යදාන සංගමය හා අක්ෂිදාන සංගමය ආදී ප්‍රජා සත්කාර වැඩසටහන්වලට ස්වේච්ඡා සේවකයකු වශයෙන් සහභාගි විය. දක්ෂ ශල්‍ය වෛද්‍යවරයකු වූ එතුමා ඇමෙරිකාව සහ රුසියාව යන රටවල්වලදී පශ්චාත් උපාධි ලබා ගැනීමටද භාග්‍යය උදාකර ගත්තේය. වෛද්‍ය ජයවර්ධන මහතා කොළඹ ජාතික රෝහ‍ලේ සේවය කරමින් සිටි කාල වකවානුවේදී එක්සත් ජාතික පක්ෂයේ ශිෂ්‍ය ව්‍යාපාර සහ තරුණ පෙරමුණු හරහා ක්‍රියාකාරී දේශපාලනයට අවතීරණ විය. හිටපු ජනාධිපති දිවංගත රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ පවු‍ලේ වෛද්‍යවරයකු ලෙස එතුමා කටයුතු කළේය.

1994 වර්ෂයේදී එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පිවසීමෙන් පසුව 2001 වර්ෂයේදී එ.ජා.ප. රජයේ පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීමේ හා සරණාගතයන් පිළිබඳ අමාත්‍ය ධුරයද දැරූ අතර මීගමුව ආසනයේ එ.ජා.ප. ප්‍රධාන සංවිධායකවරයාද විය. මිය යන තෙක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස අවුරුදු 19ක් අඛණ්ඩ වූ දේශපාලන ඉතිහාසයක් ජයලත් ජයවර්ධන මැතිතුමාට හිමි විය. එතුමා බුද්ධිමත් දේශපාලනඥයකු ලෙස ජාති ආගම් භේදයකින් තොරව මානව හිතවාදියකු ලෙසත් මහඟු සමාජ මෙහෙවරක නිරත විය. එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ක්‍රියාකාරී සාමාජිකයකු වූ එතුමා එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහ‍ලේකම්වරයා ලෙසද, ජාතික සේවක සංගමයේ සභාපති ලෙසද භාරදූර වගකීම් රැසක් එතුමා අතින් ඉටු විය. තවද එක්සත් ජාතික පක්ෂයේ මානව අයිතිවාසිකම් පිළිබඳ සහකාර ‍ලේකම්වරයා ලෙසත් මහජනතාව වෙනුවෙන් පෙනී සිටියේය. වෛද්‍ය ජයවර්ධන මැතිතුමා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වුවද තම වෛද්‍ය වෘත්තිය අමතක නොකොට නිරෝගී දිවියක් සඳහා මහජනතාවට උපදෙස් ලබාදීමට විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ඉතා සාර්ථක ලෙස යොදා ගත්තේය.

මීට අමතරව දස ලක්ෂ ජනතාවගේ නෙත් දැල්වූ ‘නෙත් පහන්’ එතුමා මූලික වී දියත් කළ තවත් සමාජ සත්කාරයකි. තවද උතුරු නැගෙනහිර මායිම් ගම්මානවලට සයිරන් නළා ලබාදීමටද කටයුතු කළේය. මීගමුව පුරවරය හා ජාඇල පුරවරයට විශේෂිත වූ මරද මඩු දේව මාතා මංගල්‍යය දෙකක් ලබාදීමටද එතුමා පුරෝගාමී විය. 

තම උපන් ගම වූ වැලිගම්පිටියේ කොළඹ-මීගමු පාරට මුහුණලා ශාන්ත ආනා දේවස්ථානයේ පිවිසුම් මාර්ගය අසල ශ්‍රී ලංකාවේ විශාලතම වූ ශාන්ත ආනා මෑණියන්ගේ පිළිරුව ස්ථාපිත කිරීමටද එතුමා මූලික වී කටයුතු කළේය.

තවද ශ්‍රී ලංකාව බෞද්ධ රටක් ලෙස බෞද්ධ ජනතාවට එතුමාගෙන් සේවාවන් රැසක් සිදු විය. ඒ අතර බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ වන ශ්‍රී දළදා මාලිගාවට සයිරන් නළා ලබාදීම සහ තවත් ඇතැම් විහාරස්ථාන සඳහා බුදු පිළිම ආදිය පරිත්‍යාග කිරීමද එතුමාගේ අතින් සිදුවිය.

1985 වර්ෂයේදී වෛද්‍ය ජයලත් ජයවර්ධන මහතා උජිතා මැණිකේ ජයවර්ධන මහත්මිය සමග විවාහ විය. දෙදරු පියකු වූ එතුමාගේ එකම පුත්‍රයාට සහ දියණියටද වෛද්‍යවරු වීමේ භාග්‍යය උදාකර දීමට ජයලත් ජයවර්ධන මහතාට හැකි විය.

වෛද්‍ය ජයලත් ජයවර්ධන මහතාගේ වියෝවීම සමග ජයවර්ධන පවු‍ලේ සාමාජිකයන්, ඥාති හිතමිත්‍රාදීන් සැවොම එකමුතුව 2013.06.30 වැනි දිනයේදී පිහිටුවනු ලැබූ දොස්තර ජයලත් ජයවර්ධන ගුණ අනුස්මරණ පදනම විසින් එතුමාට ගෞරව දැක්වීමේ මූලික පියවරක් ලෙස 60 වැනි ජන්ම දිනය සැමරීම සමග මරද මඩු රෝහල ප්‍රතිසංස්කරණය කිරීම සඳහා කටයුතු කිරීමට තීරණය කරන ලදී.

මෙම ලිපිය ලියන මම දිවංගත දොස්තර ජයලත් ජයවර්ධන මහතාගේ වැඩිමල් නැගණිය වෙමි.

ලොකු නංගී ලෙස මම අයියා සමග පෙර පාසල් ගියේ කඳාන ශාන්ත සෙබස්තියන් කන්‍යාරාමයටය. අපි දෙන්නා කුඩා කාලයේදී පාසල් ගියේ බක්කි කරත්තෙන්ය. මට අසනීප වුණු දවස්වලදී ‘ලොකු නංගී ඉස්කෝ‍ලේ යන්නේ නැත්නම් මමත් යන්නේ නෑ’ කියලා අයියා කියනවා.

අපි බොහෝ විට සෙල්ලම් කරද්දී අයියා දොස්තර, අපි එයාගෙන් බෙහෙත් ගන්න ලෙඩ්ඩුය. මමත්, අයියාත් උසස් පෙළ හැදෑරුවේ ජීව විද්‍යා විෂය ධාරාවෙනි. මම ජීව විද්‍යා උපාධිය ලබාගෙන ගුරුවරියක් වුණා. අයියා ජිව විද්‍යා උපාධිය ලබා ගැනීම ප්‍රතික්ෂේප කර නැවත වතාවක් උත්සාහ කර වෛද්‍ය උපාධිය ලබා ගැනීමට 1975 දී කොළඹ විශ්ව විද්‍යාලයට ඇතුළු වුණා.

අයියා දේශපාලනඥයකු වුවත් ඔහුගේ පුරුද්ද වූයේ සමාජ සත්කාර වැඩසටහන් සඳහා මූලික වී කටයුතු කිරීමයි. එම වැඩකටයුතුවලදී එයා වෙලාවට කෑවේ නැහැ. නිදාගත්තේ නැහැ.

එම නරක පුරුදු දෙකම කළේ ජනතාව වෙනුවෙන් ඇප කැප වී වැඩ කිරීමටයි. විශේෂයෙන්ම ඔහු මහජනතාවගේ නිරෝගී දිවිය සඳහා තම ජීවිතයේ වැඩි කාලයක් වැය කළ අමරණීය චරිතයකින් හෙබි පුද්ගලයකු බව අවිවාදයකින් තොරව මට ප්‍රකාශ කළ හැකියි.
දිවංගත දොස්තර ජයලත් ජයවර්ධන මැතිතුමාට මොක් සුවය ලැබේවායි මම ප්‍රාර්ථනා කරමි.

දොස්තර ජයලත් ජයවර්ධන ගුණානුස්මරණ පදනමේ සම ‍ලේකම්

ලොලිටා කහවෙවිතාරණ