මහජන බැංකුව කඩා වැටීමට ආණ්ඩුව වගකිව යුතුයි: ලංකා බැංකුවත්, ඉතිරි කිරීමේ බැංකුවත් ලඟදීම කඩා වැටෙනවා - එජාප

peoples_bankමහජන බැංකුව කඩා වැටීමට රාජ්‍ය නායකයා ලෙසත් මුදල් ඇමැතිවරයා ලෙසත් මහින්ද රාජපක්ෂ වගකිව යුතු බවත්, වැඩිකල් නොගොස් ලංකා බැංකුවත්, ජාතික ඉතිරි කිරීමේ බැංකුවත්, මේ ආකාරයටම කඩා වැටීමට නියමිත බවත් එජාප මහලේකම් තිස්ස අත්තනායක මහතා පැවසීය.

ඔහු මෙසේ කීවේ අද පැවැති ප‍්‍රවෘත්ති සාකච්ඡුාවකදී ය. වැඩි දුරටත් අදහස් දැක්වූ තිස්ස අත්තනායක මහතා,‘‘ශ‍්‍රී ලංකාවේ බැංකු පද්ධතිය බරපතල අවදානමකට ලක්විය හැකි බව අපි මීට පෙරත් පෙන්වා දුන්නත් ආණ්ඩුව එය පිළිගත්තේ නැහැ.

මහජන බැංකුව, ලංකා බැංකුව සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුව, ප‍්‍රධාන රාජ්‍ය මූල්‍ය ආයතන පෞද්ගලීකරණය නොකරන බවත් රාජ්‍ය අයිතිය බැහැර නොකරන බවත් ආණ්ඩුවේ වගකිව යුත්තන් පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශ කළා.

එහෙත් පසුගිය දා පැවැති මාධ්‍ය සාකච්ඡුාවකදී ආණ්ඩුවේ මාධ්‍ය ප‍්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා මහජන බැංකුව වඩාත් ස්ථාවර කිරීම සඳහා කොටස් වෙළෙඳපොළට මහජන බැංකුවේ කොටස් නිදහස් කිරීමට තීරණය කොට ඇති බව ප‍්‍රකාශ කළා. ඒ සම්බන්ධව පසුගිය 15 වැනි දා කැබිනට් මණ්ඩලයට මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් කැබිනට් පත‍්‍රිකාවක් ද ඉදිරිපත් කොට තිබෙනවා. මහජන බැංකුවේ ඇති මූල්‍ය අර්බුදයට උරදීම සඳහා මූල්‍ය සම්පාදනය කර ගැනීමේ උපායමාර්ගයක් වශයෙන් මහජන බැංකුවේ කොටස්, කොටස් වෙළෙඳපොළට තීරණය කොට ඇති බව එම කැබිනට් පත‍්‍රිකාව මගින් දන්වා තිබෙනවා.

1961 දී මහජන බැංකු පනත අනුව මහජන බැංකුවේ කොටස් මෙසේ කොටස් නිදහස් කිරීම සිදු කළ නොහැකියි. මහජන බැංකුව පූර්ණ රාජ්‍ය ආයතනයක් නිසා එසේ කොටස් නිදහස් කළ නොහැකි බැවින් කඩිනම් පනතක් ලෙස 1961 මහජන බැංකු පනත ආණ්ඩුව විසින් හදිසි පනතක් ලෙස පාර්ලිමේන්තුවේදී සම්මත කිරීමට කටයුතු කරමින් සිටිනවා.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද 2012 කෝප් වාර්තාව මගින් රුපියල් කෝටි 4063 ක් ව්‍යාපාරිකයින් පනස් දෙදෙනෙකු (52* විසින් ගෙවීම් පැහැර හැර ඇති බව සඳහන් කොට තිබෙනවා. කෝප් වාර්තාව මගින් පෙන්වා දෙන එම කාලය තුළ රට පාලනය කළේ රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුව වන අතර. එම චෝදනාව එක්සත් ජාතික පක්ෂය වෙත එල්ල කිරීමට නොහැකියි. එම නිසා මෙසේ ණය ගෙවීම පැහැර සිටින අය රටටත්, පාර්ලිමේන්තුවටත් හෙළි කළ යුතුය.

මේ ආකාරයට මහජන බැංකුව කඩා වැටීමට රාජ්‍ය නායකයා ලෙස මුදල් ඇමැතිවරයා වගකිව යුතුයි. වැඩිකල් නොගොස් ලංකා බැංකුවත්, ජාතික ඉතිරි කිරීමේ බැංකුවත්, මෙසේ කඩා වැටීමට ලක්වීමට නියමිතයි. දැනටමත් ජාතික ඉතිරි කිරීමේ බැංකුව විසින් විදේශ බැංකුවකින් රුපියල් කෝටි දස දහසක මුදලක් ලබා ගැනීමටත් පසුව එය ආණ්ඩුවට ලබාදීමටත් කටයුතු කර තිබෙනවා. එම සිදුවීමත් සමගම විශාල මූල්‍ය අර්බුදයකට ජාතික ඉතිරි කිරීමේ බැංකුව පත්වීම නතර කළ නොහැකියි. පෞද්ගලික මූල්‍ය ආයතන විශාල කඩාවැටීමකට ලක්වීම සිදු වන අතරම, රාජ්‍ය මූල්‍ය ආයතන කඩා වැටීම නිසා ඒ රටේ ආර්ථිකය අස්ථාවර වනවා.

පෞද්ගලීකරණය නොකරන බවට ප‍්‍රකාශ කළ දේශපේ‍්‍රමීන් යැයි කියා ගන්නා විමල් වීරවංශ ඇතුළු පිරිස් මේ පිළිබඳ ප‍්‍රකාශ කරන්නේ කුමක් ද කියා අපි අසනවා. මහජන බැංකුවේ කොටස් කොටස් වෙළෙඳපොළේ ආයෝජනය කිරීම එය පෞද්ගලීකරණය කිරීමේ ආරම්භයයි. එම කොටස්වලින් බහුතරය චීන සමාගමක් මිලදී ගනු ලැබුවහොත් ඊට පුදුම විය යුතු නැහැ. රජයේ එදිනෙදා අවශ්‍යතාවයන් වෙනුවෙන් මුදල් ගැනීමෙන් රාජ්‍ය බැංකු මෙසේ කඩාවැටීමට ලක් වන අතර, ආණ්ඩුවේ හිතවතුන්ට ණය දීම මගින් ද බැංකුවල මූල්‍ය වත්කම් පිරිහී තිබෙනවා’’ යැයි තිස්ස අත්තනායක මහතා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය.