ලයිට්‌ බිල් වැඩි කළොත් නඩු දානවා - ජාතික සේවක සංගමය

Dr_jj_Black_and_whiteවිදුලි බිල වැඩි කිරීමට මණ්‌ඩලය තීරණය කළොත් ඊට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග වෙත යොමුවීමට එක්‌සත් ජාතික පක්‍ෂය තීරණය කර ඇත.ජනතාව දැඩි ආර්ථික අපහසුතාවලට මුහුණපා සිටින මේ අවස්‌ථාවේ කිසි ලෙසකින්වත් විදුලිය ගාස්‌තු ඉහළ දැමීමක්‌ සිදු නොකළ යුතු බව සිය පක්‍ෂයේ ස්‌ථාවරය වී ඇතැයි එක්‌සත් ජාතික පක්‍ෂයේ නියෝජ්‍ය මහ ලේකම් වෛද්‍ය ජයලත් ජයවර්ධන මහතා ඊයේ (01 වැනිදා) පැවසීය.

විදුලි බිල ඉහළ දැමීමට විදුලි බල මණ්‌ඩලය කර ඇති නවතම සැලැස්‌මට අනුව දැනට සාමාන්‍ය නිවෙසක විදුලි බිල සියයට එකසිය විසිපහත්, එකසිය පනහත් (125% - 150%) අතර මුදලකින් වැඩිවන බවත් පවතින ආර්ථික තත්ත්වය හමුවේ එවැනි වැඩිවීමක්‌ ජනතාවට දරාගත නොහැකි බවත් හෙතෙම කීය.

විදුලි බිල වැඩි කිරීමට මණ්‌ඩලය ගෙන ඇති තීරණය වහාම නතර කරන ලෙස ඉල්ලා එක්‌සත් ජාතික පක්‍ෂය මහජන උපයෝගිතා කොමිසම සමඟ ද පසුගියදා සාකච්ඡාවක්‌ පවත්වා ඇත.

ඒ අනුව ජාතික සේවක සංගමය සහ තවත් වෘත්තීය සමිති කිහිපයක්‌ සමඟ ද එක්‌සත් ජාතික පක්‍ෂය විදුලි බිල වැඩි නොකළ යුතු බවට හේතු දක්‌වා විශේෂ වාර්තාවක්‌ මහජන උපයෝගිතා කොමිසම හමුවට යොමුකිරීමට පියවර ගෙන තිබිණි.

ඉතිහාසයේ කිසිදු අවස්‌ථාවක මෙවැනි ඉහළ අගයකින් විදුලි බිල වැඩි කිරීමට ක්‍රියාකර නැති බව පවසන ජයලත් ජයවර්ධන මහතා මේ ආකාරයට විදුලි බිල ඉහළ දැමීම ජනතා අයිතීන් උල්ලංඝනය කිරීමක්‌ ලෙස සලකා අධිකරණය හමුවට යැම සම්බන්ධව සිය පක්‍ෂය නීතිඥ මණ්‌ඩල සමඟ සාකච්ඡා කර ඇති බව ද අනාවරණය කළේය.

විදුලි බිල වැඩි කිරීමට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගයකට යොමුවීමට අමතරව පාර්ලිමේන්තුවේ හා ඉන් පිටතදී ගතහැකි උපරිම ක්‍රියාමාර්ගවලට යොමුවීමට එක්‌සත් ජාතික පක්‍ෂය තීරණය කර තිබෙන බවත් හෙතෙම වැඩිදුරටත් කීය.