ඒකාබද්ධ විපක්‍ෂය සංවිධාන ය කළ මැයි රැලිය

Mayday-2012-2මැයි රැලියේදී සම්මත කළ යෝජනා 5.....
එක්‌සත් ජාතික පක්‌ෂය හා දෙමළ ජාතික සන්ධානය එක්‌ව පැවැත්වූ ඒකාබද්ධ මැයි රැලිය ඊයේ (1 දා) යාපනයේ ගුරුනගර්හිදී පැවැත්වි ණි. එහිදී එ ජා ප නායක රනිල් වික්‍රමසිංහ මහතා ද්‍රවිඩ සන්ධාන පාර්ලිමේන්තු කණ්‌ඩායම් නායක ආර්. සම්බන්ධන් මහතා ඇතුළු සෙසු නායකයින් සමග ජනතාවට ආචාර කළ අයුරු.

ජීවන වියදම අවම කිරීම සඳහා වූ යෝජනාව

පාලකයින් ජනතා දුක නිවීම වෙනුවට තම තමන්ගේ සැප සම්පත් හා වරප්‍රසාද වෙනුවෙන් නිමක්‌ නැති දූෂණයේ යෙදෙමින් විදේශීය ණය ලබාගෙන රට උගසට තබමින්, ජනතාව සූරා කෑමේ ව්‍යාපාරයක නිරත වෙමින්, තුන් දෙනකුගෙන් යුත් පවුලකට රුපියල් හත්දහස්‌ පන්සියයකින් ජීවත් විය හැකිබවට පාරම්බාන බැවින්ද, වතුකරයේ ජනතාවගේ ජීවන තත්ත්වය නංවාලීමට කඩිනම් වැඩපිළිවෙළක්‌ දියත් කරන ලෙසද, ගොවියන් හා ධීවරයන්ට සහන සපයන ලෙසද, වැඩි වන ජීවන බරට හා එදිනෙදා අවශ්‍යතාවන්ට සරිලන පරිදි රුපියල් 7500 කින් වැටුප් පියවර ගන්නා ලෙසද, යහපත් හා දූරදර්ශී ආර්ථික කළමනාකාරීත්වයක්‌ ඔස්‌සේ ජනතාවට සහන සැලසිය හැකි ආර්ථික පසුබිමක්‌ නිර්මාණය කරන ලෙසද, යෝජනා කර සිටිමු.

යෝජනා 2

දේශපාලන විසඳුම සඳහාවූ යෝජනාව

ජනවර්ගයන් අතර යළිත් සැකය, අවිශ්වාසය හා නොසන්සුන්තාවය ගොඩනැංවීමට ඇති ඉඩකඩ අහුරාලමින්, ආණ්‌ඩුව අවස්‌ථා ගණනාවකදී පොරොන්දු වූ පරිදි සියලු ජන කොටස්‌වලට පිළිගත හැකි, තිරසාර දේශපාලන විසඳුමක්‌ ලබාදෙන ලෙස යෝජනා කර සිටිමු.

යෝජනා 3

දේශපාලන පළිගැනීම් වැළැක්‌වීම සඳහා වූ යෝජනාව

වර්තමාන ආණ්‌ඩුව තමන්ට විරුද්ධ අදහස්‌ පාගා දමමින්, විරුද්ධ මතවාදීන් තර්ජන හා අතුරුදන් කරවීම් මගින් නිහඬ කරවමින්, තමන්ට හීලෑ නොවන මාධ්‍යවේදීන් බිය ගන්වමින්, සුදු වෑන් මගින් ජනතාව පැහැර ගනිමින්, වෘත්තීය අරගල මර්දනය කර, අහිංසක කම්කරුවන් ඝාතනය කරමින් කිසිදු නඩු විභාගයකින් තොරව දීර්ඝ කාලීනව රඳවා ගැනීම් සිදු කරමින්, සමාජයක ආරක්‍ෂා කළ යුතු සකල විධ ප්‍රජාතන්ත්‍රවාදී හිමිකම් හා මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරන බැවින් පළිගැනීම් වලින් තොරව නිදහසේ ජීවත් විය හැකි, ප්‍රජාතන්ත්‍රවාදය හා මූලික මිනිස්‌ අයිතිවාසිකම් රජයන සමාජයක්‌ නිර්මාණය කරන මෙන් රජයට බල කර සිටිමු.

යෝජනා 4

සංක්‍රමණික සේවකයින් සඳහා වූ ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ අංක 189 දරණ සම්මුතිය අපරානුමත කිරීම සඳහා යෝජනාව

ලක්‍ෂ 20 ට වඩා වැඩි ශ්‍රී ලාංකිකයෝ විදේශ රටවල සේවය කරමින්, වර්ෂයකට ඇමරිකානු ඩොලර් බිලියන 4.1 ට වඩා වැඩි ආදායමක්‌ රටේ ජාතික ආදායමට එක්‌කර දෙන අතර එයින් 80% පමණ වූ කාන්තාවන් හාම්පුතුන්ගේ දැඩි තාඩන පීඩනවලට පමණක්‌ නොව සමහර අවස්‌ථාවන්හි ලිංගික අතවරයන්ට පවා ලක්‌වෙමින්, නිසියාකාර වැටුපක්‌ ද කුසට ආහාරයක්‌ ද නොලැබ තම සේවය සිදුකරන බව රහසක්‌ නොවන බැවින්ද විදේශ ශ්‍රමිකයන්ට හිමිවිය යුතු කම්කරු අයිතිවාසිකම් සහ සුභ සාධන වරප්‍රසාද පවා නිත්‍යානුකූල අන්දමින් නොලැබෙන බැවින්ද, ශ්‍රමය අපනයනය කරන රටවල් අතර එක්‌ පොදු සේවා කොන්දේසි මාලාවක්‌ සකස්‌ කරන ලෙසත්, විදේශ සේවයේ යෙදෙන ශ්‍රමිකයන්ගේ අයිතීන් හා වරප්‍රසාද සහතික කරන ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ අංක 189 දරණ සම්මුතිය අපරානුමත කරන ලෙසත් යෝජනා කරමු.

යෝජනා 5

යළි පදිංචි කරවීම සඳහාවූ යෝජනාව

යුද්ධයේ අවාසනාවන්ත ප්‍රතිඵලයක්‌ ලෙස ලක්‍ෂ සංඛ්‍යාත ජනතාවක්‌ පීඩාවට පත් වී උන්හිටි තැන් අහිමිවී අවතැන් වී ඇති බැවින්ද, අවතැන් වූ උතුරේ ජනතාවට සහන සැලසීමට හා ඔවුන්ගේ සාමාන්‍ය ජන ජීවිතය යළි පවත්වාගෙන යාමට අවශ්‍ය පරිසරය හා පසුබිම නිර්මාණය කරන්නට ආණ්‌ඩුව අපොහොසත් වී ඇති බැවින්ද ජනතාව වහාම ක්‍රියාත්මක වන පරිදි මුල් ගම් බිම් වල යළි පදිංචි කොට, ඉඩම් අහිමි වූ නිත්‍යානුකූල අයිතිකරුවන්ට ඔවුන්ගේ ඉඩකඩම්වල භුක්‌තිය යළි ලබාදී සිවිල් පරිපාලනය තහවුරු කොට ඔවුන්ගේ ජීවිත ගොඩනැංවීමට අවශ්‍ය සියලු පහසුකම් හා සහන සපයන ලෙසද ආණ්‌ඩුවට බල කර සිටිමු.