ධර්මානුකූලව ජීවත් වෙන්න සියලු දෙනා උත්සාහ ගන්න!

unp_bannerමෙත්තා, කරුණා, මුදිතා, උපේක්‌ඛා ගුණාංගයන් ප්‍රචාරක පුවරුවලට පමණක්‌ සීමාවී ඇති මෙවන් යුගයක සියලු දෙනා උත්සාහ ගත යුත්තේ බුදුන් වදාළ ධර්මයට අනුකූලව ජීවිතය හැඩගසා ධර්මානුකූල ජීවිතයක්‌ ගතකිරීම බව එක්‌සත් ජාතික පක්‌ෂය නිකුත් කළ වෙසක්‌ පණිවුඩයේ සඳහන් වෙයි.

එක්‌සත් ජාතික පක්‌ෂය විසින් නිකුත් කරන ලද වෙසක්‌ සුබ පැතුම් පණිවුඩයේ මෙසේද සඳහන්ව ඇත.ඉපැරැණි වෙහෙර විහාර පමණක්‌ නොව වැව් අමුණු පවා නිධන් සෙවීම පිණිස කඩා බිඳ දමන යුගයක තම බලය රැක ගැනීම උදෙසා කරුණාව වෙනුවට ක්‍රෝධයත්, දයාව වෙනුවට වෛරයත් වපුරන අවස්‌ථාවක අපි වෙසක්‌ මංගල්‍යය සමරන්නෙමු. බලය ඇත්තෝ අද බුදු දහම භාවිත කරනුයේ තම බලය රැක ගැනීම සඳහා යොදාගත හැකි ආවරණයක්‌ ලෙසය. මෙත්තා, මුදිතා, කරුණා, උපේක්‌ඛා දී ගුණාංගයන් සීමාවී ඇත්තේ ප්‍රචාරක පුවරු සඳහා පමණි. 

එවන් පරිසරයක අප සියලු දෙනාම උත්සාහ ගත යුත්තේ බුදුන් වදාළ ධර්මයට අනුකූලව අපගේ ජීවිතය හැඩගස්‌වා ගැනීමටය. ධර්මානුකූල ජීවිතයක්‌ ගත කිරීමටය. බුද්ධ ධර්මයෙහි සඳහන් යහ ගුණාංගයන්ගෙන් අපේ ජීවිත පෝෂණය කර ගැනීමටය.

වෛර සහිතව ජීවත් වන මිනිසුන් මැද වෛර රහිතව ජීවත් වන්නටත්, වෛරී මිනිසුන් මැද අවෛරීව වෙසෙන්නටත් අපි උත්සාහ ගනිමු.

වෙසක්‌ මංගල්‍යය වඩාත් අර්ථ පූර්ණ වන්නේ එවිටය.