ජයවර්ධන ජනාධිපතිවරයා ලෝකයේ ඇති වන වෙනස් කම් තේරුම් ගනිමින් කටයුතු කළ නායකයකු බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
විවිධ පුද්ගලයින් ගන්නා දේශපාලන තීන්දු පිළිබඳ එක්සත් ජාතික පක්ෂයට කිසිදු ගැටලුවක් නොමැති බවද කී ඇමැතිවරයා ඉදිරියේදි ආණ්ඩුව රැගෙන එක්සත් ජාතික පාක්ෂිකයින්ට ජයවර්ධන ජනාධිපතිවරයා සැලකූ ආකාරයට කටයුතු කරන බවද ප්‍රකාශ කළේය. ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත්වන රාජපක්ෂ කෙනෙකු වුත් හෝ වෙනත් අයෙකු වුවත් එය එක්සත් ජාතික පක්ෂයට අභියෝගයක් නොවන බවද ඇමැතිවරයා කීය.
අකිල විරාජ් කාරියවසම් මහතා මේ අදහස් පළ කළේ ඊයේ (17දා) පිටකෝට්ට ජාතික සේවක සංගම් මූලස්ථානයේ පැවැති ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ 112 වැනි ජන්ම උපහාර උත්සවයට සහභාගි වෙමිනි. මෙහිදී ජේ.ආර් ජයවර්ධන ජනාධිපතිවරයාගේ පිළිරුවට ඇමැතිවරයා, ජාතික සේවක සංගමයේ ප්‍රධාන ලේකම් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සිරිනාල් ද මෙල් මහතා, ජාතික සේවක සංගමයේ උප සභාපති හා මාධ්‍ය ලේකම් සුනිල් ද සිල්වා මහතා ඇතුලු ජාතික සේවක සංගමයේ නායකයින් විසින් පුෂ්පෝහාර දැක්වන ලදී.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අකිල විරාජ් කාරියවසම් මහතා- ජේ.ආර් ජයවර්ධන හිටපු ජනාධිපතිවරයාගේ 112 ජන්ම දිනය අද අප සමරනවා. කෘතගුණ දත් එක්සත් ජාතික පක්ෂයට දැවැන්ත කාර්යය භාරයක් කළ ජයවර්ධන මැතිතුමාව සිහිපත් කිරීමට ජාතික සේවක සංගමයේ අප අද දින එකතු වී සිටිනවා. ජේ. ආර් ජයවර්ධන ජනාධිපතිවරයා තුන්කල් දුටු නායකයෙක් වශයෙන් හඳුන්වන්න පුළුවන්.
ජයවර්ධන ජනාධිපතිවරයා තම පාලන කාලයේදී කටයුතු කළ අන්දම, ගැටලු වලට මුහුණ දුන් ආකාරය, ඉවසීමේ ගුණය ආදී කරුණු තුළින් වර්තමාන දේශපාලනඥයින්ට බොහෝ කරුණු කාරණා ඉගෙන ගත හැකියි. 1977 විවෘත ආර්ථික විප්ලවය ඇති කළේ ජයවර්ධන ජනාධිපතිවරයායි. එතුමාගේ දේශපාලනය ආරම්භ කළ කාලයේ සිට ඒ පිළිබඳව අදහසක් ලෝකයේ ඇතිවන වෙනස් කම් පිළිබඳව තේරුම් ගෙන කටයුතු කළා. ජපානය අද පවා ජයවර්ධන මැතිතුමාව සිහිපත් කරනවා. එතුමා එදා මුදල් ඇමැති ලෙස කළ සැන් ප්රැන්සිස්කෝ කතාව පිළිබඳව මතකය අවදි කරනවා. අපි හැමෝම ජයවර්ධන ජනාධිපතිවරයාට ණය ගැතියි.
ජේ. ආර් ජයවර්ධන මැතිතුමා ජාතික සේවක සංගමය හැඳින්වූයේ තම දරුවෙකු ලෙස. මෙම සංගමයේ සාමාජිකයින්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න සැම විටම එතුමා කටයුතු කළා. ජයවර්ධන චරිතය තුළින් අපේ රටට, පක්ෂයට, තරුණ දේශපාලනඥයින්ට බොහෝ දේ ගත හැකියි. එතුමාගේ 112 වෙනි උපන් දිනය සමරන මේ අවස්ථාවේ අප ජයවර්ධන මැතිතුමාව ඉතා කෘතවේදීව සිහිපත් කරනවා.
එක්සත් ජාතික පක්ෂයේ ප්රතිසංවිධාන කටයුතු ප්‍රජාතන්ත්‍රවාදීව සිදුකරනවා. අප පක්ෂය ප්රතිසංවිධාන වෙමින් ශක්තිමත්ව පෙරට ගමන් කළ යුතුයි. පසුගිය පළාත් පාලන මැතිවරණයේදී අප යම් පසු බෑමකට ලක් වුනත් අප මේ වන විට පෙරට පැමිණ තිබෙනවා. ඇතිවූ පසුබෑම පක්ෂය ඉදිරියට ගෙන යාමට බාධාවක් කර ගත්තෙ නැහැ. පොහොට්ටු පක්ෂයේ කළමනාකරණය නොමැති නිසා ඔවුන් පැවැත්වූ උද්ඝෝෂණ ජනබල මෙහෙයුම් අසාර්ථක වුණා. ඒ නිසා ඔවුන්ට විවිධ ගැටලු ඇතිවුණා. අප මේ වන විට එක්සත් ජාතික පක්ෂයේ සංවිධාන ජාලය ශක්තිමත් කරමින් සිටිනවා. ශාඛා සමිති හදනවා. ඉතා ඉක්මනින් පක්ෂයේ සංවිධාන ජාලය ශක්තිමත් කරන්න අප බලාපොරොත්තු වනවා.
එක්සත් ජාතික පක්ෂය පිළිබඳව ඇතැමුන් විවිධ හඳුන්වාදීම් කරනවා. හැබැයි අප ගමන් කරන්නෙ පක්ෂයේ වැඩ පිළිවෙල සමග. මාස හයකට තිබූ තත්ත්වයට වඩා අප මේ වන විට ඉදිරියෙන් සිටිනවා. ඉදිරියේදීත් ඉතා වේගයෙන් වැඩ කරනවා. 2020 මැතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා අප මේ වන විට කටයුතු කරමින් සිටිනවා. ඉදිරියේ කළ යුතු වැඩ පිළිවෙල පිළිබඳව කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී තීරණය කරනවා. කිසිම පුද්ගලයෙකුගේ දේශපාලන තීරණ පිළිබඳව එක්සත් ජාතික පක්ෂය බිය වන්නෙ නැහැ. බිය වන්න හේතුවකුත් නැහැ. එක්සත් ජාතික පක්ෂය කියන්නෙ සද්ධන්ත පක්ෂයක්. ආණ්ඩු බලය සහ බහුතරය තිබෙන්නෙත් අපට. කුමන හෝ පුද්ගලයෙකු හන්දියක කරන ප්‍රකාශයක් පිළිබඳව හෝ හඬපටයක් පිළිබඳව සොයා බලන්නෙ නැතිව මට මහ එජාප මහ ලේකම්වරයා ලෙස ප්‍රකාශ කරන් බැහැ.
ඉදිරි ජනාධිපතිවරණයේදී රාජපක්ෂ කෙනෙක් හෝ නොවන කෙනෙක් එක්සත් ජාතික පක්ෂයට ප්‍රශ්නයක් නොවේ. එක්සත් ජාතික පක්ෂයට වාසිම මැතිවරණය ජනාධිපතිවරණයයි. අපට අවාසි වූ පළාත් පාලන මැතිවරණයේදීද රාජපක්ෂ කණ්ඩායමට ගැනීමට හැකිවූයේ සියයට තිස් නවයයි දහම ගණනක ප්‍රමාණයක්. සියයට හැටක් තිබෙන්නෙ රාජපක්ෂ විරෝධී ඡන්ද. ජනාධිපතිවරණයේදී අප ජයග්‍රහණය කර තව අවුරුදු දහයක් විතර ආණ්ඩුව ඉදිරියට ගෙන යනවා. අපට ආණ්ඩුවක් ගෙන යන්න 2015දීත් බොහෝ දෙනෙක් බැහැ කීවා.
ජාතික සේවක සංගමයේ පාක්ෂිකයින්ට යුතුකම් ඉෂ්ට කරමින් ඔවුගේ දේශපාලන ගැටලු වලට විසඳුම් ලබාදිය යුතුයි. අපට ඇතිවී ඇති ගැටලු බොහොමයකට හේතුව තමයි දීර්ඝ කාලයක් රාජ්‍ය නායකත්වය නොලැබීම. 77 ජයවර්ධන මහතා පාක්ෂිකයින්ට සැලකූ ආකාරයට, දැනෙන ලෙස සහන දුන් ආකාරයට අප කටයුතු කළ යුතුයි. අප ආණ්ඩුව ගන්නා බව ජයවර්ධන පිළිරුව ඉදිරියේ සිටිමින් මා ප්‍රකාශ කරනවා. අප පාක්ෂිකයින්ට දැනෙන ආකාරයෙන් සලකන බවද මා කියනවා.
ආණ්ඩුව භාරගත් අවස්ථාවේ පසුගිය පාලනයේ ගැටලු විසදීමටද අප සිදුවුණා. තෙල් මිල අඩු කරමින් රාජ්‍ය සේවක වැටුප් වැඩි කළා. අධ්‍යාපනයේ නිවැරදි වෙනස් කම් සිදුකරමින් සෞඛ්‍ය අංශයේ පරිවර්ථනයන් මේ වන විට සිදුකරමින් තිබෙනවා. අප පසුගිය රජය මෙන් බංකොළොත් වී නැහැ.
හැබැයි යහ පාලනය ඉහවහා ගිහින් තිබෙන බව ඇත්ත. යහ පාලනය ඉස්මොල්ලෙ ගොස් තිබෙනවා. ඒ නිසා රජයත් විවේචනයට ලක් වෙනවා. ඒ නිසයි ජනබල මෙහෙයුමට කොළඹට පැමිණි ජනතාවට කිසිදු සීරීමක්වත් නොමැතිව යාමට හැකි වුණේ. එක්සත් ජාතික පක්ෂයට කොළඹ නගරයේ ඉතා ශක්තිමත් බලයක් තිබෙනවා. ඒ ශක්තිය උපයෝගී කරගෙන පැමිණි පිරිස් වලට පහරදී එලවා දැමිය හැකියි. ඒත් එක්සත් ජාතික පක්ෂය එවැනි ක්‍රියාමාර්ගයක් අනුගමනය කළේ නැහැ. පොලිස්පතිවරයා සහ රටේ සෑම රාජ්‍ය සේවකයෙක්ම ක්‍රියාත්මක කළ යුත්තේ යහ පාලන ප්‍රතිපත්ති. ඒ සඳහා ඔවුන් බැදී සිටිනවා. වර්තමානයේ කිසිවෙකු සුදු වෑන්වලින් උත්සන්නෙ නැහැ. මහජන උද්ඝෝෂණ වලට වෙඩි තබන්නෙ නැහැ. මේවා යහ පාලන ආණ්ඩුවේ ප්‍රතිපත්ති.
මෙම අවස්ථාවේදී ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතනය පිළිබඳව මාධ්‍යවේදීන් ඇමැතිවරයාගෙන් විමසූ විට ඔහු ප්‍රකාශ කළේ, ඒ පිළිබඳව වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස අග්‍රාමාත්‍යවරයා උපදෙස් ලබා දී ඇති බවයි. එම පරීක්ෂණ වාර්තාව පැමිණි පසු අදාළ සිද්ධිය පිළිබඳ තීරණයක් ගත හැකි යයිද ඇමැතිවරයා පැවසීය. මෙය එක්සත් ජාතික පක්ෂයේ නාට්‍යයක් යැයි ඇතැමුන් කියන බව මාධ්‍යවේදීන් පැවසූ විට ඇමැතිවරයා ප්‍රකාශ කළේ, එසේ චෝදනා කරන පුද්ගලයින්ගෙන්ම ඒ පිළිබඳව විමසා බලන ලෙසයි. එක්සත් ජාතික පක්ෂය සිය පක්ෂයේ වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරන බවද ප්‍රකාශ කළ ඇමැතිවරයා නාට්‍ය රඟ දැක්වීමේ අවශ්‍යතාවයක් නොමැති බවද කීය.
මෙම අවස්ථාව සඳහා ජාතික සේවක සංගමයේ සාමාජික, සාමාජිකාවන් විශාල පිරිසක් සහභාගි වූහ.