වැඩි කළ විදුලි බිල අඩු කළේ නැත්නම් 21 වැනිදා රට පුරා වැඩ වර්ජනට ජා.සේ.ස.යේ සහය

Protest-Logoවිදුලි බිල ඉහළ දැමීමට ගෙන ඇති තීරණය මැයි 20 දාට පෙර අහෝසි නොකළොත් 21 වැනිදා ශ්‍රී ලංකාව පුරා මහා වැඩවර්ජනයක්‌ පවත්වන බව රාජ්‍ය, පෞද්ගලික සහ වතු අංශයේ වෘත්තීය සමිති රැසක්‌ ඊයේ (28 දා) රජයට අනතුරු ඇඟවීම් කළේය. රජය මෙම සංකේත වැඩවර්ජනයටද යහපත් ප්‍රතිචාර නොදක්‌වන්නේ නම් රට පුරා අඛණ්‌ඩ වැඩවර්ජනයක්‌ දියත් කිරීමටද පසුබට නොවන බව එම වෘත්තීය සමිති ඊයේ කොළඹදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රකාශ කර සිටියේය.

විශ්වවිද්‍යාල ආචාර්ය සන්ධානය නියෝජනය කරමින් නිර්මාල් රංජිත්, ජාතික වෘත්තීය සමිති මධ්‍යස්‌ථානයේ කේ. ඩී. ලාල්කාන්ත, ජාතික සේවක සංගමයේ සිරිනාල් ද මැල්, තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමයේ මුදිත කරුණාමුණි, සමස්‌ත ලංකා වෘත්තීය සමිති සම්මේලනයේ සමන්ත කෝරළේආරච්චි, නිදහස්‌ වෙළෙඳ කලාප පොදු සේවක සංගමයේ ඇන්ටන් මාකස්‌, ලංකා වතු සේවා සංගමයේ ධම්මික ජයවර්ධන, ලංකා ගුරු සේවා සංගමයේ මහින්ද ජයසිංහ, ලංකා ජාතික වතු කම්කරු සංගමයේ කේ. වේලායුදන්, සමස්‌ත ලංකා වතු කම්කරු සංවිධානයේ රාමලිංගම් චන්ද්‍රසේකර්, එක්‌සත් කම්කරු සංගමයේ සරණපාල ද සිල්වා, රාජ්‍ය සේවා ජාතික වෘත්තීය සමිති සම්මේලනයේ ඒ. ඡේ. එම්. එල්. ආර්. ජයසුන්දර සහ අන්තර් සමාගම් සේවක සංගමයේ වසන්ත සමරසිංහ යන මහත්වරුන් ඇතුළු වෘත්තීය සමිති රැසක නියෝජිතයෝ මෙම මාධ්‍ය හමුවට එක්‌ව සිටියහ.

වෘත්තීය සමිති ඒකාබද්ධ තීරණ සම්බන්ධීකරණ කමිටුව විසින් මෙම මාධ්‍ය හමුව කොළඹ නිපොන් හෝටලයේ කැඳවා තිබිණි.

විදුලි පහන් සියල්ල නිවා දමා ඉටිපන්දම් එළියෙන් මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව ආරම්භ කරන ලදි.

විදුලි ගාස්‌තු ඉහළ දැමීමට ගෙන ඇති තීරණය වහා අහෝසි නොකළොත් මැයි 21 වැනිදායින් පසු රට පුරා විරෝධතා ව්‍යාපාර දියත් කරන බව මෙහිදී අන්තර් සංගම් සේවක සංගමයේ වසන්ත සමරසිංහ මහතා පැවැසුවේය.

ආණ්‌ඩුව මේ වෙනුවෙන් ඉල්ලා සිටින්නේ ජීවිත නම් වැඩකරන ජනතාව ජීවිත පරිත්‍යාග කර හෝ වැඩි කළ විදුලි බිලට එරෙහිව සටන් කරන බව පැවැසූ වසන්ත සමරසිංහ මහතා මැයි 20 දාට පෙර විදුලි බිල වැඩි කිරීමේ තීරණය අහෝසි නොකළොත් 21 දා වැඩවර්ජනය කරන බවට ජනාධිපතිවරයාට ද ලිතව අනතුරු හැඟවීම් කළ බව කීය.

විදුලි බිල වැඩිකිරීම වෙනුවට විදුලිබල මණ්‌ඩලය තුළ සිදුවන සුප්‍රසිද්ධ වංචා, දූෂණ, නාස්‌තිය වැනි කරුණු පිළිබඳව අවධානය යොමු කිරීම රජයේ වගකීම බව පෙන්වා දුන් වෘත්තීය සමිති නායකයෝ ජල විදුලි නිෂ්පාදනය වේගයෙන් පහත වැටී ඇති බව 2012 මහ බැංකු වාර්තාවද පෙන්වා දෙන බව පැවැසූහ.

එය බරපතළ සැකයකට තුඩු දෙන කරුණක්‌ බවද 2010 සිට 2012 අවසන් වන විට ජල විදුලි නිෂ්පාදනය සියයට 50 කින් පහත වැටී ඇතැයිද පවසන වෘත්තීය සමිති නායකයන් තාප විදුලිය ඉතා විශාල ලෙස ඉහළ ගොස්‌ ඇතැයිද කීහ. එය සමාගම්වල අයුතු ලාභ ඉහළ දැමීමක්‌ යෑයිද ආණ්‌ඩුව සිදුකරනුයේ සියලු වියදම් ජනතාව මත පැටවීම බවද ඔවුහු පැවැසූහ.

සමස්‌ත වැඩකරන ජනතාවගේ නියෝජිතයන් ලෙස තමන් විදුලි බිල ඉහළ දැමීමේ ක්‍රමයට විරුද්ධ බවද මේ සම්බන්ධව සිවිල් සංවිධාන, පාරිභෝගික සමිති, දේශපාලන පක්‍ෂ හා සියලු පුරවැසියන් සමග එක්‌ව රජයට එරෙහිව කටයුතු කිරීමට තීරණය කළ බවද වෘත්තීය සමිති නායකයෝ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පැවැසූහ.

වැඩකරන ජනතාව විරෝධතා කිරීම හේතුවෙන් රට තුළ කාර්මික සාමය බිඳ වැටීම අනිවාර්යයෙන් සිදුවනු ඇතැයිද කී වෘත්තීය සමිති නියෝජිතයෝ මැයි 20 දාට පෙර විදුලි ගාස්‌තු ඉහළ දැමීමේ තීරණය අහෝසි කරන ලෙසට වැඩකරන ජනතාව ජනාධිපතිවරයාගෙන් කරන ඉල්ලීමට යහපත් ප්‍රතිචාර නොදැක්‌වූවෝත් 21 වැනිදා සිට වැඩකරන ජනතාව පාරට බැසීම නොවැළැක්‌විය හැකි බවද කීහ.