ජාතික සේවක සංගමය කළ ඉල්ලීමක් අනුව සංස්ථා මණ්ඩල අධිකාරිවල සේවයේ නියුතු සේවකයන්ගේ විශ්‍රාම යන වයස් සීමාව අවුරුදු 60 දක්වා දීර්ඝ කර ගැනීමට හැකිවූ බව එම සංගමයේ සභාපති එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය ලේකම් දොස්තර ජයලත් ජයවර්ධන මහතා "දිවයින"ට පැවැසුවේය.
රජය රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම යන වයස් සීමාව අවුරුදු 60 දක්වා දීර්ඝ කිරීමේදී සංස්ථා, මණ්ඩල හා අධිකාරිවල සේවයේ නියුතු සේවකයන්ට එම අවස්ථාව ලබා නොදුන් බවද පැවසූ නියෝජ්‍ය ලේකම්වරයා එවැනි තත්ත්වයක් හමුවේ සේවකයන්ට සිදුවන අසාධාරණය පිළිබඳව ජාතික සේවක සංගමය බලධාරීන් දැනුවත් කර කළ ඉල්ලීමක් අනුව එම සේවකයන්ටත් වයස අවුරුදු හැටේ විශ්‍රාම වයස් සීමාවක් ලබාගැනීමට හැකිවූ බවට කියා සිටියේය.
පක්ෂ, පාට, ජාති, ආගම් භේදයකින් තොරව සමස්ත සේවක අයිතිවාසිකම් වෙනුවෙන් ජාතික සේවක සංගමය පෙනී සිටින බවත් එහි මූලිකත්වයෙන් සංස්ථා, මණ්ඩල හා අධිකාරි සේවකයන්ගේද විශ්‍රාම වයස් සීමාව අවුරුදු 60 දක්වා දීර්ඝ කර ගැනීමට හැකිවූ බවත් ඒ පිළිබඳව එහි සභාපතිවරයා ලෙස නිහතමානීව සතුටු වන බවත් ජයවර්ධන මහතා පැවැසීය.
රජය සේවක අයිතිවාසිකම් විෂයෙහි ගනු ලබන තීන්දු තීරණවලදී ඉදිරියේදීද තම සංගමය අවධානයෙන් සිටින බවද ඒ මහතා වැඩිදුරටත් කීවේය.