පක්ෂයේ වෘත්තීය සමිති නියෝජනය වෙනුවෙන් තිස්වසරක සේවාව පෙරටුකරමින් ජාසේස ලේකම් සිරිනාල් දමෙල්ටත් විශේෂ සම්මානයක්
දේශපාලනයේ මතවාද කා තුළත් ඇතිමුත් එය කිසිවිටක විරසකයක් නොවේ යෑයි හැඟෙන දසුනක් ඊයේ (06 දා) පිටකෝට්ටේ සිරිකොත මන්දිරයේ පැවැති එක්සත් ජාතික පක්ෂයේ 66 වැනි සංවත්සර උළෙලේදී නෙත ගැටිණි.නව ප්‍රතිපත්ති මාලාවක් හඳුන්වාදී පක්ෂය තුළ රැඩිකල් වෙනසක් ඇති කරන බව එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (06 වැනිදා) පැවැසීය.
එම නව ප්‍රතිපත්ති මාලාව ඉදිරියේදී පැවැත්වීමට නියමිත පක්ෂ සම්මේලනයේදී සම්මත කරගන්නා බවද ඔහු කීවේය. ඊයේට යෙදුණු එක්සත් ජාතික පක්ෂයේ 66 වැනි සංවත්සරයේදී වික්‍රමසිංහ මහතා මේ කරුණු පැවැසීය.
එම පක්ෂයේ 66 වැනි සංවත්සරය පක්ෂ මූලස්ථානය වන සිරිකොත මන්දිරයේදී පැවැති අතර මෙහිදී පක්ෂය වෙනුවෙන් කැපවුණු ජ්‍යෙෂ්ඨ සාමාජිකයන්ට පළාත් සභා මන්ත්රීවරුනට, සංවර්ධන සභා නියෝජනය කළ අයට වෘත්තීය සමිති නායකයන්ට, හිටපු මහලේකම්වරුන්ට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සම්මාන ප්රදානය කෙරිණි.
1977 වසරේ සිට අඛණ්ඩව මේ දක්වාම පාර්ලිමේන්තුව නියෝජනය කරන වත්මන් එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාටද මෙහිදී විශේෂ තිළිණයක් පක්ෂ සභාපති ජයවික්‍රම පෙරේරා සහ මහ ලේකම් තිස්ස අත්තනායක යන මහත්වරුන් විසින් ප්රදානය කරනු ලැබීය.
නවීකරණය කරන ලද සිරිකොත පක්ෂ මූලස්ථානයද ඊයේ (06 දා) විවෘත කෙරිණි. සංවත්සරය ආරම්භ කරමින් පක්ෂයේ හිටපු නායකවරුනට පුෂ්පෝපහාර දැක්වූ අතර සංවත්සරය ඉතා චාම් ලෙස සංවිධානය කර තිබූ ආකාරය දක්නට ලැබිණි.
පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන්, නායකයන් ඇතුළු බොහෝ පිරිසක් ද මීට සහභාගි වී සිටියහ.
පළමුව සංවිධානය වී දෙවනුව පාරට බැස තෙවනුව ආණ්ඩු බලය ලබාගන්නා බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (06 වැනිදා) පැවැසීය.
හෙතෙම මේ බව කියා සිටියේ ඊයේ (06 වැනිදාට) යෙදුනු 66 වැනි පක්ෂ සංවත්සරයේ ප්‍රධාන දේශනය පවත්වමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීය.
එක්සත් ජාතික පක්ෂයේ 66 වැනි සංවත්සරය වෙනුවෙන් අද දින පවත්වන මේ උත්සවයේදී අපේ පළමු යුතුකම වෙන්නේ මේ පක්ෂයේ ආරම්භක නායකයන්, සාමාජිකයන් සැමරීමයි.
මේ පක්ෂය තනි පුද්ගලයකුගේ, පුද්ගල කණ්ඩායමකගේ හෝ එක් පවුලකට අයත් පක්ෂයක් නොවෙයි. මේ පක්ෂය මුළු රටටම අයිති පක්ෂයක් ලෙසයි අප සලකන්නේ.
දිවංගත මහාමාන්‍ය ඩී. එස්. සේනානායක මහතා එදා කල්පනා කළේ අපේ රට දිනවීම සඳහා දේශපාලන පක්ෂයක් ආරම්භ කරන්න ඕන කියලා. ඒ නිසයි එක්සත් ජාතික පක්ෂය බිහිවුණේ.
ජාති ආගම් භේදවලින් තොරව එකට එකතුවී මේ රට දියුණු කිරීමයි මේ පක්ෂයේ අරමුණ. මේ රට දිනවන්න අපේ නායකයන් කටයුතු කළා. ඒ වගේම අපේ පක්ෂය ආරක්ෂා කිරීම සඳහා 6000 ක පමණ පිරිසක් දිවිපුදා තියෙනවා.
නායකයන්, සාමාජිකයන් පක්ෂය වෙනුවෙන් ඉදිරියට ඇවිත් දිවි පූජා කළා. අද අපි ඒ අයව මහත් ගෞරවයෙන් යුතුව සිහිපත් කරනවා. එදා 1978 දී අප සමග එකට සටන් කොට ආණ්ඩු බලයක් ලබාගැනීමට කටයුතු කළ සාමාජිකයන් වෙනුවෙන් අද අපි සම්මාන පුද කරනවා.
ඒ වගේ අද මේ සිරිකොත ගොඩනැගිල්ල නවීකරණය කරලා විවෘත කළා. ඒ සඳහා නොයෙක් ආධාර උපකාර කළා. ඒ අයටත් මාගේ ප්‍රණාමය මා පුදකරනවා.
අපේ පක්ෂයේ 66 වැනි සංවත්සරය සමරන මේ මොහොත වන විට මේ රටේ බලය ලබාගැනීමට හැකි දැන් තිබෙන එකම බලවේගය එක්සත් ජාතික පක්ෂය පමණයි. ඒ සඳහා මේ ආණ්ඩුව සමග සටනට බසින මූලස්ථානය සිරිකොතයි.
අද අපි අපේ ශාඛා සමිති ටික ස්ථාපිත කර ගනිමින් යනවා. ඒ සඳහා අපි තොරතුරු කේන්ද්‍රස්ථානයක් ආරම්භ කර තිබෙනවා. විදේශ සාමාජිකයන් සෘජුවම සම්බන්ධ කරගන්න දැන් අපට පුළුවන්. ඒ සඳහා අපි සෝෂල් මීඩියා ක්‍රමය ආරම්භ කොට තිබෙනවා.
කොහොම වුණත් අපේ ප්‍රධානම මාධ්‍ය වන්නේ කට මාධ්‍යයයි. ඒ සඳහා වඩාත් ප්‍රමුඛත්වය ලබා දෙමින් අපි මේ ආණ්ඩුවට එරෙහිව 2013 සිට පාරට බසින්න කටයුතු කරනවා.
ඒ වගේම අපි පක්ෂයට අලුත් ප්‍රතිපත්ති මාලාවක් හදන්න අවශ්‍යයි. අද මේ රටේ අධ්‍යාපනය, කෘෂිකර්මය, ආර්ථිකය ඇතුළු අංශ ගණනාවක ගැටලු නිර්මාණය වී තිබෙනවා.
අද ඉතාම සුළු පිරිසකට පමණයි මේ රටේ ප්රතිලාභ ලැබෙන්නේ. 99% ක් වූ ජනතාවට ප්රතිලාභ හිමිවන්නේ නැහැ. පවතින මේ ක්‍රමය වෙනුවට නව ආණ්ඩුක්‍රමයක් ඇති කොට නිදහස් අධ්‍යාපනය සුරකින්න රටේ ආර්ථිකය ඉහළ නංවන්න එජාපය කටයුතු කරනවා.
අපි අපේ පක්ෂයට අලුත්
රැඩිකල් වෙනසක් ඇති කරනවා. ඒ සඳහා වන නව ප්‍රතිපත්ති ඉදිරි සම්මේලනයේදී සම්මත කරගන්නවා. අපි සියලු දෙනාම කැපවෙලා එජාප ආණ්ඩුවක් බිහිකරන්න කටයුතු කරමු.
එ.ජා.ප. 66 වැනි සංවත්සරයේදී අඅඅගැමබචගදරට නමින් නව අන්තර්ජාල වෙබ් අඩවියක්ද ආරම්භ කරන ලද අතර ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් 160 දෙනකු සඳහා සංකේතාත්මක තිළිණ ප්රදානය කෙරිණි.
පක්ෂය නියෝජනය කරමින් වසර 20 ක් පුරාවට පළාත් සභා නියෝජනය කරන ලද සහ සංවර්ධන සභා නියෝජනය කළ දැනට ජීවතුන් අතර සිටින ඇතුළුව අඛණ්ඩව පාර්ලිමේන්තුව නියෝජනය කළ රනිල් වික්‍රමසිංහ, ගාමිණි ජයවික්‍රම පෙරේරා, ජෝෂප් මයිකල් පෙරේරා, ජෝන් අමරතුංග යන මහත්වරුන්ට විශේෂ සම්මාන ප්රදානයක්ද මෙහිදී සිදුවිය.
පක්ෂයේ වෘත්තීය සමිති නියෝජනය වෙනුවෙන්ද, කාන්තා නියෝජිතයන්ට, සිරිකොත කාර්ය මණ්ඩලයට, හිටපු මහලේකම්වරුන්ට ද මෙහිදී සම්මාන ප්රදානය කෙරුණු අතර සිරිකොත මූලස්ථානය සෑදීම සඳහා ඉඩම ලබාදුන් හිටපු එජාප සභාපතිවරයකු වූ එන්. ජී. පී. පණ්ඩිතරත්න මහතා නමින් ශාලාවක්ද විවෘත කෙරිණි.